Wednesday, May 26, 2010
සමුගන්න අවසරයිද?
සනත් ජයසූරිය, එසේ නැතහොත් - ශ්‍රී ලක් මෑණියන් බිහිකල සුපිරිතම ක්‍රිකට් තරුව, වර්තමානය වනවිට ක්‍රමයෙන් දීප්තියෙන් අඩු වීමට පටන්ගෙන ඇත. මීට වසර දෙකකට පමණ පෙර අතීතයට සිත යොමු කල විට, අපට සිටි තරඟ දිනවන්නා වුවත්, වර්තමානය වනවිට ඔහු සිය දක්ෂතා ක්‍රමයෙන් අඩුවී යන මොහොතකට එලැඹ ඇති බව අප කාහටත් පැහැදිලිව පෙනී යන කරුණකි.
1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්ව, 1997 දී ලකුණු 340ක් ලබා ගනිමින් ටෙස්ට් පිටියේ එවකට ලාංකීය පිතිකරුවෙකු රැස්කල ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගනිමින් විශිෂ්ඨත්වයට පත්වූ හෙතෙම, 1999 දී අර්ජුන රණතුංගගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කථාවේ විශිෂ්ඨතම නායකයා බවට පත් විය.
එවන් දක්ෂතා රැසක් සිය ක්‍රිකට් ජීවිතය තුල ප්‍රකට කල සනත් ජයසුරිය නම් වූ රුහුණු පුතු එක්තරා යුගයක කණ්ඩායමේ තරඟ දිනවන්නා බවට පත්විය. ඔහු සතුව තිබුනේ එවන් කීර්තිමත්වූ අතීතයකි.
නමුත් සියල්ල වෙනස්වීමට වැඩිකලක් ගතවූයේ නැත. 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යන්හිදී පැවති ලෝක කුසලාන තරඟාවලියේ අපට සිටි ලොකුම බලාපොරොත්තුව වූයේ සනත් ය. බාර්බඩෝස් අවසන් තරඟයේ ගිල්ක්‍රිස්ට් ගේ නින්දිත ගොල්ෆ් බෝල ක්‍රීඩාව නිසා අපට උරුමවුන ලකුණු 288ක් පන්දුවාර 38 කදී ලබා ගැනීමේ අතාත්වික ඉලක්කය යථාර්තයක් කර ගැනීමට ඔහු සටන් වැදුණු අන්දම අපට මේ මොහොතේ සිහිවන්නේ, එදා සිට තවමත් ගතවී ඇත්තේ වසර 3ක් පමණ වූ කෙටි කාලයක් වන බැවිණි.
මහ වැස්සේ ඕස්ට්‍රේලියානු නායක පොන්ටින්ගේ නළලට දහදිය දමන තුරු තරඟය කර ගසා ගෙනගිය සනත්, අවසානයේදී මයිකල් ක්ලාක්ගේ බිමචුරු පන්දුවෙන් දැවී නොයන්නට, අප රට ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිමයට ලඟා වන්නේ එදිනය. ඔබ 1996 ගැන සිතයි නම්.... 1996 යනු එක්තරා අහම්බයකි. එනම් පලමු වටයේ කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියානුවන් අපට පූජාකල ප්‍රසාද ලකුණු 4 ත්, ආසියානු උප මහාද්වීපයේ තණතිලිවල තරඟ පැවැත්වීමත්, එදා ක්‍රිකට් ක්‍රීඩාවට අද තරම් තාක්ෂණයක් භාවිතා නොවීමත් යන කරුණු සලකා බැලූවිට, අර්ජුන සහ පිරිවර ලබාගත් ජයග්‍රහණයට වඩා, 2007දී අප ජය ගත්තානම් එය ඉතාමත් විශිෂ්ඨ ජයක් වනු නියතය.
නමුත් අද වනවිට අපට මේ සියල්ල අමතකය. එය ඔබ පසුගිය දිනවල පුවත්පත් සහ වෙබ් අඩවි පිරික්සා බැලුවේ නම් ඔබට දැකගන්නට ලැබෙන්නට ඇත. අප තරම් ගුණමකු ජාතියක් ලොව කොහේවත් ඇත්දැයි ඔබට සිතෙනු ඇත. ඒ ඇයිද යත්, අපේ ක්‍රිකට් ලෝකයට ගෙනගිය විශිෂ්ඨයෙකුට අප ආමන්ත්‍රණය කර තිබුන ආකාරය ෆේස් බුක් සහ වෙනත් ජාල වලත්, පුවත්පත් වලත් යහමට දක්නට ලැබුන නිසාය.
ඉස්සර සිටියේ අපේ සනත් කෙනෙකි. අපි හැමෝගේම සනත් කෙනෙකි. දැන් ඉන්නේ නිල්පාට සනත් කෙනෙකි. සන්ධානකාරයන්ගේ සනත් කෙනෙකි. මන්ත්‍රී කෙනෙකි. නාකියෙකි.
ඇත්තෙන්ම සනත් හරිද? අපි වැරදිද? එහෙම නැත්නම් සනත් වැරදිද? අපි හරිද? මගේ මතය නම් අපි සියල්ලන්ම මෙන්ම සනත්ද වැරදිය. අපි වැරදිකරුවන් වන්නේ ඇයි? මූලිකම කාරණය වන්නේ අප විසින් සනත් ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවය අමතක කර ඔහුට පහර ගැසීමය. අප ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් නොවෙමු. අප අපේ ක්‍රීඩකයන්ට සැබෑවටම ආදරය කරන අය වෙමු. එසේනම් අපේ ක්‍රිකට් අද ඇති ස්ථානයට ඔසවා තැබූ සනත් වැනි ක්‍රීඩකයෙකු විවේචනය කිරීමට පෙර අප දෙවරක් සිතිය යුතු නොවේද?
සනත් වැරදිවන්නේ ඇයි? අත්තෙන්ම සනත්ගේ වල කපාගත්තේ සනත්මය. එක් අතකට එය ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදු වුන දේට සමාන දෙයකි. ජෙනරාල් ජනපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු වූවා සේම, සනත්ටද මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ඉන්නට තිබුණි. නැත්නම් ඔහුට ක්‍රීඩාවෙන් සමුගෙන එයට ඉදිරිපත් වන්නට තිබුනි. නමුත් ඔහු ඒ දෙකම නොකරේය. ඔහුට ක්‍රිකට් ක්‍රීඩවෙන් සමු ගන්නට තිබුනේ 2008 ආසියනු කුසලානය අවසානයේදී බව අපගේ මතයයි. එදා අවසන් තරඟයේදී ඉන්දියානු පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙමින් ශතකයක් ලැබූ මොහොතේ ඔහු සමුගත්තානම් එය, 1992 දී ඉම්රාන් ඛාන්ගේ සමුගැනීමට සමාන වන්නට තිබුනි.
නමුත් ඔහු ඒ තීරණය එදා නොගත්තේය. එදා සිට අද වනතුරුත් සනත් ජයසූරියට ලබාගත හැකිව ඇත්තේ එකම එක එක්දින ශතකයකි. එකම එක 20-20 අර්ධ ශතකයකි. ඉතින් එදා සනත් සමුගත්තා නම්, අප 'ඇයි සනත් යන්නේ?' කියා අසන්නට තිබුනි. ඒ අප අරවින්දගෙන් ඇසුවා මෙන්ය. මහානාමගෙන් ඇසුවා මෙන්ය. ගුරුසිංහගෙන්, අතපත්තුගෙන් ඇසුවා මෙන්ය. ඔවුන් අද අපිට සිටි විශිෂ්ටයන් වී හමාරය. අපි අදද කණ්ඩායම පරදින විට, අරවින්ද සිටියා නම් කියා සිතයි... මහානාම සිටියානම් කියා සිතයි... ඒ ඔවුන් ඔවුන්ගේ විශිෂ්ටම අවදියේ ක්‍රීඩාවෙන් සමුගත් බැවිනි.
නමුත් අද ක්‍රීඩාලෝලීන් අසා සිටින්නේ 'ඇයි සනත් යන්නෙ නැත්තේ?' කියාය. අවාසනාව එයයි. සනත්ට වැරදුනේ එතනය. ඉදින් ඒ කතාවෙන් තවත් පලක් නැත. සනත් සමුගත යුතුව තිබුනේ මීට කලකට පෙරය. එය ඔහු නිසි කලට ඉටු නොකරේය. එහි විපාක අද ඔහු විඳිමින් සිටී.
ඔහු දැන් එංගලන්තයේ ප්‍රාන්ත තරඟාවලිය සඳහා, වෝර්වික්ශයර් කණ්ඩායම සමග එක්වීමට යයි. එය ගැන අදහසක් දැක්වීම නොවටී. සනත් එහිදී දක්වන දස්කම් දෙස අප බලා සිටිමු.
නමුත් අනිත් කාරණාව නම් ඔහුගේ දේශපාලන ජීවිතයයි.
මාතර ජනතාව සනත් ජයසූරියට ඉතා විශිෂ්ට දේශපාලන ඉනිමක් ආරම්භකර දුන්නේය. පැවති රජයේ ප්‍රබල ඇමතිවරුන් තුන්දෙනෙකුම අභිභවා මනාප 74000ක් ලබා දෙමින් ඔහුව දිස්ත්‍රික්කයේ පලමු තැනට ගෙන ආවේ ඉමහත් බලාපොරොත්තු සහගතවය. මංගල සමරවීර යුගයෙන් පසුව සංවර්ධනය ඇණහිට තිබුන මාතර නගරයට මාතර පුතු සනත්, සංවර්ධනයේ මාවත විවරකරදෙනු ඇතැයි මාතර ජනතාව උදක්ම බලාපොරොත්තු වූහ.
නමුත් සනත් මැතිවරණ සමයෙන් පසුව මාතර නොමැත. සනත් ක්‍රිකට් කණ්ඩායම සමග තරඟ වලය. අයිපීඑල් වලින් පසුව කොදෙව්වලය, ඉන්පසු ඇමරිකාවේය. දැන් එංගලන්තයේය. මාතර ජනතාව තවමත් සිය නව නායකයා ගමට එනතුරු බලා සිටී.
වරද ඇත්තේ මෙතනය. සනත්ට තිබුනේ ක්‍රිකට් වලින් සමුගෙන දේශපාලනයට ඒමය. හරියට අර්ජුන මෙන්ය. නැතිනම් ඉම්රාන් ඛාන්, නව්ජොට් සිධු, ක්ලයිව් ලොයිඩ් මෙන්ය. ඔවුන් දේශපාලනයට පැමිණියේ ක්‍රීඩවෙන් සමුගෙනය. ඔවුන්ට සිය ප්‍රදේශයට සෙවය කිරීමට කාලය තිබිණ.
තවත් වසර 6 කින් මාතර ජනතාව වෙත කල සේවය කියා පෑමට සනත්ට සිදුවනු ඇත. ඒ තවදුරටත් සනත් යනු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය නොවන බැවිනි. සනත් යනු මාතර ජනතාවගේ මන්ත්‍රීවරයා වන බැවිනි. ඉදින්, සනත් ක්‍රිකට් ගැසීම ගැටලුවක් වන්නේ මෙවිටය. සනත් ක්‍රිකට් ගැසීම නොව, ගැටලුව වී ඇත්තේ, සනත් ක්‍රිකට් ගැසීමට ගොස් ක්‍රිකට් නොගැසීමය.
එයින් සංගා සමග අවුල් ඇතිවීලු... සනත්ගේ පිතිකරු ස්ථානය මාරුවීලු...
සනත්ට පන්දු යැවීමට ලබා නොදුන්නාලු... කොටින්ම සියල්ලම අවුල් ජාලයකි.
මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, නවක ක්‍රීඩක... දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ඉඩ ඇහිරී යාමය.
මාතර ජනතාවගේ බලාපොරොත්තු සුන්වී යාමය....
ඉතින්... සමුගන්න අවසරයි සනත්....
විශිෂ්ටයෙකු ලෙස..... සමුගන්න.
මාතර ජනතාවගේ සදාදරණීය නායකයා වන්න.
සනත් ජයසූරිය නාමය මාතර බිමේ රන් අකුරින් ලියවන්න.
ඔබට හිතැති මාතර ක්‍රීඩාලෝලී ජනතාව ඔබෙන් ඉල්ල සිටින්නේ එයයි.
Subscribe to:
Posts (Atom)